Random Posts

3/random/post-list

Tuesday 1 December 2020

1978 මහ සුළි සුළග මතකද? සුළි කුණාටුවකට සූදානම් වෙන්න අද හවස “බුරවි” ලංකාවට ඇතුල්වේ


 1978 මහ සුළි සුළග මතකද?


සුළි කුණාටුවකට සූදානම් වෙන්න
අද හවස “බුරවි” ලංකාවට ඇතුල්වේ...

මේ ද අමතක කල නොහැකි අතීතයකි..
1978 - නව රජයක් පත්වී ගත වී තිබුනේ වසර එක හමාරක් වැනි සුලු කාලයකි..පැවැති සිරිමා මැතිනියගේ රජය පෙරලා දමන්නට බහු තරය තීරණය කරන්නට ආසන්නම හේතු වී තිබුනේ..පැවැතිතද පාලනය හේතුවෙන් සාමාන්ය ජනතාව විඳි දරුණු ආහාර හිඟයයි.
.එකල වැඩිහිටියන්ගේ කතා බස් අසා සිටි මට හැගුනේ...එහෙත් පසු කලෙක ...නොවේ අද ද මම හිතන්නේ...මැතිණිය ගේ අරමුණ දිනාගත හැකිවී නම් අප කෘෂිකාර්මික ලෙස ඉදිරියට යා හැකිව තිබුනේ බවයි.. එහෙත් එය ක්රියාත්මක කල විදියේ පැවැති සැඩ ස්වරූපය නිසාම ජනතාව එය ප්රතික්ෂේප කලහ.
සිරිමා මැතිනිය..පිටරටින් ආහාර ගෙන්වීම තහනම් කලාය..
සියරට දේ සිරි සැප දේ ඇගේ සටන් පාඨය විය...රටපුරා වගා සංග්රාමයක් ආරම්භවිය..
වෙලදපලේ..කෘතිම රෙදි මිලදී ගැනීමට නොමැතිවිය..ඒ වෙනුවට වේයන්ගොඩ පිහිටි රෙදි පෙහෙකම්හලෙන් වේටෙක්ස් නමින් වූ මෙරට නිෂ්පාදන රෙදිපිලි වෙලද පලට නිකුත් විය. එවැනි තවත් රෙදි පෙහෙකම් හල් කිහිපයක්ම රට තුල ස්ථාපිත කලේය. ( තුල්හිරිය , පූගොඩ ආදී ලෙස )රටපුරා පිහිටි අත් යන්ත්ර රෙදි නිෂ්පාදන පෙහෙකම් හල් වලින් නිපදවූ සාරි පමණයි තිබුනේ...එයට ආදර්ශය සපයමින් සිරිමාවෝ මැතිනිය අත් යන්ත්ර සාරී පමණක් ඇන්දාය.
රජයේ නිල ඇදුම් සදහා යොදා ගත්තේද මෙරට නිෂ්පාදිත රෙදි පිලි පමනය. මින්නේරියේද චීන රජයේ ආධාර යෙන් යෝධ පෙහෙකම්හලක් ඉදි කලේය..පොලොන්නරුව දිස්ත්රික්කයේ තරුන තරුනියෝ විශාල පිරිසක් එහි සේවය කලෝය.
පිටරටින් මයිසූර් පරිප්පු, වියලි මිරිස්, සීනී, පාන්පිටි,ගෙන ඒම නැවතිනි..ඒ වෙනුවට ගොවීහු හනි හනික ඊට ආදේශක ආහාර නිෂ්පාදනයට පෙලඹිනි.
ගොවියෙකු වු මගේ පියා .......තම ගොවිබිමේ වී වලට අමතරව මිරිස් වගා කලේය..මගේ . මව අක්කර දෙකක වන ගොඩ ඉඩම පුරා කව්පි වගා කලාය... මට මතකයි.....පොලොන්නරුවේ ගොවිබිම් අගලක් නෑර වගාවට බැස තිබුනේය.
76, අවුරුද්දේ පැමිනි නියගය වී වගාවට කණකොකා ඇඩීය...
මුලු රටටම ඇවසි වී අස්වැන්න නොලැබී ගියේය.. ඒ අතරේ ඒ ඒ පලාත් වලින් සහල් පිට පලාත් වලට ප්රවාහනය කිරීමද තහනම් කෙරිනි එක් අයෙකුට එසේ ගෙන යා හැකි සහල් ප්රමාණය හාල් සේරු දෙකක් පමණි. මගේ මව හා පියා ගමෙන් පැමිනි නෑ සියන්ට හාල සේරු දෙකේ පාර්සල් කිහිපයක් සාදා දෙන්නේය. බසයක මගී අසුන් කිහිපයක් යට ඒ පාර්සල් තබා ගන්නේය...ඒ වෙන කිසිවක් නිසා නොව ගමන අතරමග බසයට කඩා පනින පොලිස් හමුදාවෙන් බේරෙන්නටය . මගියෙකු ලග හාල් සේරු දෙකකට වඩා තිබුනොත් එම හාල් රාජසන්තක වන්නේය. ඉදින් එසේ පනින පොලිස් නිලධාරින් මගී අසුන් ගානේ ඇවිද අසුන් යට තිබෙන හාල් කාගේදැයි ඇසූ කල ඕනෑම මගියෙකු එම හාල් මල්ල තමන්ගේ නොවූවත් ඒවා තමන්ගේයැයි පිලිගනී.
.පාන්පිටි හිගය නිසා බේකරි අසල දිග පෝලිම් සැදුනේය...අපේ නිවසට අල්ලපු වත්තේ බේකරියක් තිබුනේය...බේකරි හිමියාගේ පවුල සහ අප පවුල අතරේ වූයේ ලේ නෑයන් තරමේ හිතවත් කමකි.එහෙත්...අපටද පෝලිමේ නොසිටියහොත් පාන් ගන්නට නොහැක.එක පුද්ගලයෙකුට මිලදී ගත හැකි වූයේ පාන් ගෙඩි දෙකක් පමණි...ඒ පාන් ගෙඩ්දෙක ගැනීමට මගේ පියා අලුටම හතරට පමණ අවදිවී...රාත්රියේ පෙරවාගත් ඇතිරිල්ල හිසේ සිට පෙරවාගෙන පෝලිමේ සිටින්නේය..පෝලිමෙන් පිට හිතවතෙකුට පාන් ගෙඩියක් දෙන්නට ගියහොත් පෝලිමේ සිටින්නන් බේකරි හිමියා මරා දමන තරමට කුපිත වන්නේය.
සීනී පෝලිමද එසේමය. එක් අයෙකුට වෙලදසැලකින් නිකුත්කරනු ලැබූයේ සීනී රාත්තලක් පමණි.කන්තලේ , ගල් ඔය,හිගුරාන ආදි ප්රදේශවල පිහිටා තිබූ කම්හල් තුල සීනී නිෂ්පාදනය කලේය..එවකට ඇඹිලිපිට් ය සහ වාලච්චේන යේ කඩදාසි නිෂ්පාදනයද කෙරිනි.
ඇතැම් ප්රදේශ වල බහුල ලෙස මයියොක්කා වැවීය.. හෝටල් වල සතියකට දින දෙකක් පමණක් බත් ද හා අනෙක් දිනවල අල වර්ග පමනක් ආහාරය පිනිස විය.
එය තරමක දුෂ්කර කාල පරිච්ඡේදයක් විය.
එය අසීරු වුවද.... වගාවෙන් දිනූවෝද වූහ.
ඇලහැර ප්රදේශයේ ප්රදේශයේ ගොවියෙකු විශාල පරිමාවක වගා කරගත් මිරිස් අස්වැන්න වියලා විකුනා ගැනීමෙන් ගජ පොහොසතෙකු විය. ඔහු ඒ මුදලින් වාහනයක් මිලදී ගත්තේය..
එවකට ඇලහැර ප්රදේශයේ යාන වාහන තිබුනේ මොර ඇටයා නමින් ප්රසිද්ධ වූ මැණික් ව්යාපාරිකයෙකුටය.( ඔහුට මොර ඇටයා යැයි කීවේ තමුන්ට විකිනීම පිනිස දුප්පත් කාන්තාවක විසින් ගෙන ආ වටිනා මැණිකක් " මේක මේ මොර ඇටයක් නෙ..." යි ඈට ඉතා සොච්චම් මුදලක් දී යවා පසුව එම මැණික ඉතා ඉහල මිලකට විකුනූ නිසායැයි පැවසේ)
මොරාඇටයා මුදලාලි ද මැණික් ව්යාපාරය අත් හැර මිරිස් වගාවට පිලි පන්නේය.
සිරිමා මැතිනියගේ ඒ වගා සංග්රාමයෙන් ජය ගත්තෝ කම්මැලි නොවූ මිනිසුන්ය. අත පය සෙලවීමට කම්මැලි වූවෝ..මැතිනියට සාප කලේ..ඈ තමුන් බඩගින්නේ තබන බවට චෝදනා කරමිනි.
රජය පෙරලා දැමීමට මාන බැලුවන්ට..වගා සංග්රාමය හොද අවස්තාවක් වීය..
සියරට දේ සිරි සැප දේ...වදනක් පමණක් ම විය..
1977 මහ මැතිවරණයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පරාජයට පත්විය...
ජේ ආර් ජයවර්ධන යන්ගේ ජනප්රිය ඇට රාත්තල් අට ක් ගැන වූ පොරොන්දුවෙන් ජනතාව සිරිමාවෝ මැතිනිය ප්රතික්ෂේප කලේය.
1977..ජූනි මස පැවැති මහ මැතිවරනයෙන් ජය ලැබූ එක්සත් ජාතික පක්ෂ රජයට 1978 නොවැම්බර් මාසය වෙද්දී යාන්තමින් අවුරුද්දයි මාස පහකි.
එතෙක් පොලොන්නරුව දිස්ත්රික්කයේ ශ්රීලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් අත පැවැති සමූපකාර සමිති.පාසැල් සංවර්ධන සමිති.ඈ මෙකී නොකී සෑම ආයතනයකම බලය එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් විසින් පවරාගෙන තිබිනි...
නොවැම්බර් 16.දින ඇරඹි සාමාන්ය මහ කන්නයට උරුම වැස්ස ඇදහැලෙමින් තිබිනි.
මගේ නිවුන් දියනිය න් දෙදෙනාට වයස මාස තුනකි... සෞඛ්ය දෙපාර්තමේන්තුවේ සේවය කල මගේ සැමියා ගේ සේවා ආයතනය පිහිටියේ නාරාහේන්පිටයි.ඔහු එවකට මැලේරියා මර්ධන ව්යාපාරයේ කීට විද්යා අංශයේ
සේවය කලේය...
මැලේරියාව බහුල ප්රදේශයක කීටයන් සොයා ඇවිදිමින් සිටි ඔහුට මැලේරියා මදුරුවකුගේ ප්රහාරයකට ලක්වීමෙන් උන ගැනීම නිසා නිවාඩු ලබා ගෙදර විත් සිටියේය.
දරුවන් ලැබීමට දෙමාපියන්ගේ නිවසට ආ මම ද ඒ වන විටත් රැදී සිටියේ එහිමය..මැලේරියාවෙන් පීඩාවට පත් මගේ සැමියා උන හා සටන් කිරීමට ලබාගත් එවකට ජනප්රිය ඖෂධ නිසාවෙන්ද පීඩාවට පත්ව ඇදේ වැටී සිටියේය.
නොදරුවන්ට මැලේරියා මදුරුවා දෂ්ඨ කරතැයි බියෙන් රැය පමනක් නොවේ දහවල කාලයේත් දරුවන්ට මදුරු දැලක ආරක්ෂාව යොදා තිබිනි.
24 දින වන විට වැස්ස මදක් පාලනය වී තිබිනි.එහෙත් අවුව පෙනෙන තෙක් මානයක නොවිනි.මුලු අහසම වලාකුලෙන් බරවී තිබිනි.
දරුවන්ගේ රෙදි වේලාගැනීම පිනිස මම පැට්රොමැක්ස් ලාම්පුව දල්වා ඒ වටා වැලක් බැඳ තාන් රෙදි කැබැලි වේලා ගැනීමට කටයුතු කලා.
එදින සවස 6.00 පමන වෙද්දී වර්ෂාව පටන් ගත්තේ තරමක සුලගක් ද සමගිනි. මමත් සැමියාත් දරු දෙදෙනාත් නිදා සිටියේ ඉදිරිපස කාමරයකය.අම්මාත් බාල සහෝදරියනුත් ඇතුලු ගැබ නිදා උන්නෝය.නිවසට ඉදිරි පසින් වෙනම ඉදිකර තිබූ ගොඩනැගිල්ලේ තාත්තා ත් මගේ මලනුවන් නිදා සිටියෝය.
රාත්රී..9.00.පමන වෙද්දී..වර්ෂාවේ වේගයට වෙනදා නිවසේ නොතෙමෙන තැන්ද තෙමෙන්නේය.
.
දරුවන්ගේ කාමරයේ දල්වා තිබෙන චිමිනි ලාම්පුව දැඩි සුලං පහර හේතුවෙන් විටින් විට නිවෙන්නේය... තවත පැයක් පමන ගත වෙද්දී සුලං ප්රවාහය තවත් වේගවත් විය..අම්මාත් නංගිලාත් අප සිටි කාමරයට ආවේ..ඒ කොටසේ වහලයේ අඩක්ම සුලගට ගසාගෙන ගිය බව පවසමිනි පිටතින් ඇසෙන්නේ කාගේ හෝ කෑගැසීම් හෝ විලාප හඩකැයි.. හිතෙන අයුරින් සෝ...සෝ හඩ නැගේ...අම්මා ඉදිරිපස දොර විවෘත කලේ තාත්තා නිදා සිටි පැත්ත නිරුපද්රිතදැයි බලන්නටය...
එවිටයි අප දුටුවේ විදුලිය තිබෙන පෙදෙසේ විදුලිය විසන්ධි වී තිබේ ඉදහිට අහස් තලයේ ඇදී යන විදුලි ය රේඛා වලින් පෙනුනේ බිහිසුනු චිත්රයකි.
තාත්තා නිදා සිටි ගොඩනැගිල්ලේ පැත්තකට ඇද වැටී තිබෙන පොල් ගසකි.තත්වය කෙබදුදැයි බැලීම ඇදෙන් නැගිටගත් තාත්තා දොර ලගට ගියා පමනකිලු..පොල්ගසේ පොල් පිරුනු කරටිය ඔහු නිදා සිටි ඇද මතටයි වැටී ඇත්තේ..කෙසේ හෝ ඔහු සහ මගේ බාල සහෝදරයා ගෙතුලට ගත්තද අප නිරුපද්රිත නොවීය.
මුලු නිවසෙහිම වහලය ඉගිල්ලි ගියේය.ඉතිරිව ඇත්තේ අප සිවු දෙනාගේ කාමරය පමනි.
මේ සා විපතක් සිදුවද්දීද මගේ සැමියා නොදනී...උනෙන් ඔත්පලව උන් ඔහු ඝනකම ඇද ඇතිරිලි කිහිපයක්ම පෙරවාගෙන ගැහෙමින් කෙදිරිගාමින් නිදන්නේය ...
ලේ කැටි පැටවු දෙන්නා ප්රවේශම් කර ගත යුතුය.ඝනකම් රෙදි වලින් දරුවන් හොද හැටි එතූ මම ඔවුන් කාමරයේ තිබූ මේසයක් යටට රිංගවා තැබීය..
තද සුළං ප්රවාහයට හසුව අප සිටි කාමරයේ වහළයද ඉගිලෙන්නට තනන්නේය.
නිකමට කාමරයේ දොරෙන් හිස පිටතට එබූ කල බියෙන් තැති ගැනෙන්නේය නිවසේ අර්ධයකම වහලය නැත. හාත්පස එලිය කරන විදුලිය රේඛා වලින්..නිවස ආසන්න යේ පිහිටි පොල් ගස් කැරැකී පැද්දීගෙන විත් වහලය නැති නිවස තුලටම එබී බලනා සැටි පෙනෙයි...
පිටතින් ඇසෙන්නේ අධික වේගයෙන් ගමන් ගන්නා දුම් රිය කිහිපයක හඩකි.
.මගේ සොහොයුරියක් අඩන්නේ...
" ඔය එලියෙ වාහන යනව ඇහෙන්නෙ අපි ඒ වාහනයක් නවත්තාගෙන යං තාත්තෙ.."
නැත ඒ ඇසී තිබෙන්නේ චන්ඩ සුලි සුලග හමනා හඩයි.
කිරිකැටියන්ද රැගෙන කෙසේ පිටතට යන්නද මහා ගස් කඩා වැටෙන්නේ ශබ්දයක් නොනගාමය....විදුලිය කණු රැහැන් එල්ලාගෙනම වැටෙන්නේය..විදුලිය විසන්ධි වී නැත්නම් මැරෙන්නට වෙන්නේ විදුලි සැර
වැදීමෙන් ය.
මා දන් නා පරිදි මගේ තාත්තාගේ බියපත් මුහුනක් මා කවදාවත් දැක නැත..දැන්නම් ඔහුගේ මුහුනේ ඇත්තේ බියපත් බවකි.කිසිවෙකු ගෙන් පිහිටක් ඇවසිය...ඒත් කොයි අත යන්නද...සැවොම තනිව ආරක්ෂාව සොයනවා විය හැක.
.තාත්තාත් අම්මාත් බිහිසුනු වාතාවරනය මැද ගෙතුල තෙමෙන බඩුමුට් ටු බේරා ගන්නට බලති.
කොතෙක් වෙලා අප 11 දෙනෙකු එකම කාමරයක ට කොටු වී දෙවියන් යැද්දාදැයි නොදනිමු.
ඒ මා මෙලොව ගතකල දිගම රාත්රිය වන්නට ඇත.
යාන්තම් අලුයම 4.00පමන වන විට පිටත සිදුවූ බිහිසුනු සටන තරමක් තුරල් වී තිබිනි.
මගේ දෑත රිදුනේ දරුවන් නොතෙමී තබා ගන්නට පහන් වනතුරු ඔවුන්ට ඉහලින් ඉටි රෙද්දක් අල්ලාගෙන සිටීමෙනි.
යාන්තම් වටෙන් ගොඩෙන් එලිවෙද්දී මිදුලට හිස පෙවූ අප පුදුමයට පත්විය.
ගෙය වටකොට බිත්ති සූරාගෙන වැටී තිබුනු සියලු පොල්ගස් අප 11 දෙනාට කිසිදු හානියක් සිදු කොට නොතිබිනි.
අපේ ජීවිත පමනක් සුරැකී තිබිනි..අප කොටු වී සිටි කාමරය හැර අනෙක් කොටසට තද ලෙස හානි සිදුවී තිබිනි..
අසල්වැසියන් ට අපට වඩා අනතුරු සිදුවී ඇත.සියලු නිවාස හා වගාවන්ද බිමට සමතලාවී තිබිනි.
මං මාවත් යකුන් නැටූ පිටියක් .සදිසිය.... වාහන ගමනා ගමනය ඇන හිට තිබේ....අතැම් නිවාසයක් මතට ගස් කඩා වැටීමෙන් ඒවා බිමට සමතලා වී තිබේ...
අපේ ගෙදරද එක් කාමරයක් හැර අනෙකුත් සියලුම කොටස් දිය පිරවූ කුඹුරු ලියදි පරිදිය...ගෙතුල ගොඩගසා තිබූ වී තොග සහ වියලා ගත් මිරිස් ,කව්පි ගෝනි සියල්ල සහ මුලින්ම දියබත් වී තිබේ....
ජනපදයේම ජනතාව අවතැන් වී තිබේ.
අවට ලෝකය හා අපේ තිබූ සියලු සබදතා බිද වැටී තිබේ...කොටින්ම අප දැන් අවට ලෝකයෙන් සම්පූර්ණයෙන්ම වෙන්වූ දූපතක් බදුය.
ගෙවී ගිය ශත වර්ෂයේ අපරටට ඇතුලු වූ වා සුළි 10 ක් අතරින් බිහිසුනුම වා සුළිය ලෙස වාර්තා ගත වී ඇත්තේ 1978නොවැම්බර් 24 දින හටගත් මෙම සුළි සුළගය.
බෙංගාල බොක්කේ හටගත් මේ චන්ඩ කුණාටුව ශ්රී ලංකාවට ඇතුල් වූයේ ත්රිකුණාමලය හා කල්කුඩා වෙරල තීරයෙනි...
එය පැයට කි.මි.176 - 192 වේගයෙන් මඩකලපුව,අම්පාර,පොලොන්නරුව,කුරුණෑගල හරහා ව්ල්පත්තුව ඔස්සේ හමා ගොස් යලි රටෙන් පිටතට ගමන් කොට තිබේ.
මේ මහා විනාශයෙන් මරණ හා අතුරුදන් වීම්
මඩකලපුවේ 697
පොලොන්නරුවෙ 80
අම්පාර 125
අනෙකුත් ප්රදේශ 73
නිවාස හා දේපල හානිය
මඩකලපුව 36410
පොලොන්නරුවේ 22767
මීට අමතරව වගාවන් අතර පොල් වගාවට සිදුවූ හානිය අති විශාලය
.අද මුලු පරිසරයම තද වැහි අඳුරකින් වෙලීතිබේ. අහස වලාකුලින් පිරී තිබේ .ඉතින් සැනෙන් මට 78 ඒ මහ සුලි සුලඟ සිහිපත්වේ..
ඒ...බිහිසුනු අත්දැකීම තවමත් මා පෙලන්නේය. පොඩි සුළං ප්රවාහයකදී පවා මගේ කලබලය දකින දරුවෝ මට සිනා සෙති...
ඉන්දුමතී ජයසේන 

0 comments:

Post a Comment